Thursday, August 14, 2014

මට හමුවූ ඇය (අවසන් කොටස)


ගොඩක් දෙනෙක් කථාවේ මුල කොටස කියවලා තිබුණා. සමහරු තමන්ගේ අදහස් එහෙමත් comment කරලා තිබුණා. තවත් අය මුණ ගැහුනම හොද නරක කිව්වා. ඇත්තටම සතුටුයි. ඉතින් ඒ හැමෝම බලන් හිටපු කථාවේ අවසානය තමයි මේ.. මේකත් කියවලා සම්පුර්ණ කථාව ගැනම ඔයාලගේ අදහස් කියන්නකෝ එහෙනම්..

කථාවේ පළවෙනි කොටස කියවපු නැති අය පහලට ගිහින් ඒ කොටසත් කියවලම ඉන්නකෝ... 

පාවෙමින් ගොස්... නැත දුවමින් ගොස් පාළු ගෙයක ගෙමිදුලේ නතර වූවාය. මාත් අනුව රථය නවතා ගතිමි. මුලින්ම මට හිතුනේ නිවසේ පණ ඇත්තෙක් සිටීමේ හැකියාවක් නැති බවය. මගේ සිතුවිල්ල බොරු කරමින් ගෙතුලින් සිහින් වේදනා බර කෙඳිරියක් පිටත මිදුලට ගලා ආවේය. මම ඉක්මන් කලෙමි. ගෙතුලේ තිබුනු එකම කාමරයේ දිරා ගිය ඇඳක් මත එපමණටම දිරා ගිය වියපත් ගැහැණියක් වැතිර සිටියාය. මම වහා පරීක්ෂා කලෙමි. දරුණු ලෙස උණ රෝගයෙන් පීඬා විදිමින් සිටි ඇයට ඉක්මන් වෙදකමක් අවැසිව තිබින. මම ඇයට වේදනා නාශක පෙති කිහිපයක් පොවා m%තිනාශක එන්නතක් දුනිමි. මේ මොහොතේ ඊට වඩා මට කලහැක්කක් නොවේ.  

ඉක්මන් සුවයක් සඳහා ඇයට උදයෙන්ම රෝහල් ගතවෙන්නටැයි කියමින් මම එන්නට හැරුණෙමි. වියපත් කතත් දැරියත් මට බෙහෙවින් ස්තූති වන්ත වෙන්නට විය. අතරමඟදී මගේ සිතේ ඇතිවූ බහුභූත සිතුවිලි ගැන මම මටම දොස් කියා ගතිමි. සිතුවිලි නිසා වියපත් කත මියගොස් දැරිය අනාථ වෙන්නට හොදටම ඉඩකඩ තිබින. එය එලෙස වූවා නම් මගේ ගිණුමට බැර වෙන්නේ කොයි තරම් නම් ලොකු පාපයක්ද? එලෙස වූවා නම් මගේ වෛද දැනුමෙන් ඇති වැඩක්ද නැත

එලෙස සිතුවිල්ලේ ගැලෙමින් මම පාළු නිවසින් නික්මුණෙමි. දැන් අර ඉපැරණි කනත්ත මගේ සිතේ අද්භූත සිතුවිලි  ජනිත නොකරයි. වෙනුවට පෞරාණික බව මගේ සිතේ නිදන් වී ගියේය. නිවාඩු පාඩු වෙලාවක එහි ඇවිදින්නට මට සිත් විය. පෙර බිය කැන්ඳු නිසරු කුඹුරු යාය දැන් මගේ සිතේ කණගාටුවක් ඇති කරයි. මේවා අස්වද්දවා තිබුනි නම් මට දර්ශනය විය හැකි දසුන කොයි තරම් චමත්කාරජනක වෙනු ඇත්ද? මට එලෙස සිතෙන්නට විය. සමහරවිට කුඹුරු වඟා නොකරන්නට ඇත්තේ කනත්ත නිසා විය හැකිය. මා වැනි දැන උගත්තෙකු මොහොතකට හෝ හොල්මන් යකුන්ට බිය වුවා නම් නූගත් ගැමියන් ගැන කවර කථාද? අර දැරිවිය යකින්නකයැයි සිතා බිය වීම ගැන මට සිනහ පහල විය

මම සිතුවිල්ලේම රිය පැදවීමි. ඈතින් හුළු අතු එළියක් පෙනේ.. තවත් කාට හෝ කරදරයක්ද? ටිකෙන් ටික ලං වෙද්දී එක් එළියක් නොව දෙක තුනක්ම බව මට වැටහින. නියත වශයෙන්ම ගමේ කාට හෝ කරදරයක් විය යුතුය. මා ලං වත්ම මිනිසෙකු අත දමා කාරය නැවතීය. ඉස්කෝළේ මහතාගේ නිවසේ මෙහෙකරු බණ්ඩංප්පූ බව මම හදුනා ගතිමි. "මොකෝ බණ්ඩංප්පූ  මේ..?" "හත්වලාමේ දොස්තර මහත්තයා කොයි ලොකේ නම් ගියාද? අපේ සුමනේරීස් කොලුවට තනියා ගහලා එතනමයි බුදු මහත්තයෝ..." මම බිරන්තට්ටු වී ගියෙමි. "අපේ... සුමනේරීස්..??" කියන්නට ගිය දේ කියා ගත නොහැකිව මම ගොත ගැසුවෙමි

"අනේ.. ඔව් දොස්තර මහත්තයෝ.. මහත්තයා සුනංගු මක්කෙයි බලන්න ඉස්කෝළේ මහත්තයා මඟට එව්වේ.." බණ්ඩංප්පූ දිගටම කියවයි. නපුරු පුවතෙන් නිරුත්තර වූ මම ඔහේ ඔහුගේ මුහුණ දෙස බලා උන්නෙමි. "ඔය වෙලාවේ මහත්තයා ආවනම් වෙන්නෙත් ඔය සන්තෑසියම තමයි මහත්තයෝ.." හරිය කනට වැටෙද්දී මම වෙව්ලා ගියෙමි. රැයේ සීතල පරයා මට ඉහින් කනින් දාඩිය දමන්නටද වියඊලඟ නිමේෂයේ මට සිහි උනේ අර දැරිවියයි. ඈත් මවත් මගේ දිවි බේරා ගත්තා නොවේද? වියපත් කත නොසිටියා නම් මම මේ පාරෙන් එන්නේ වේලාසනය. එසේ වූවා නම් අලියාට බිලි වෙන්නේ සුමනේරීස් නොවේ. මාය. ඊළග නිමේශයේ සුමනේරීස් ගැන සිතුවිල්ලෙන් මගේ හිත බර වී ගියේය. මම කලින් ආවා නම් සුමනේරීස් එන්නේ නැත. එහෙම නම් ඔහු මිය යන්නේ නැත. මේ ගත වූ පැය කිහිපයේ ජීවිත දෙකක් ගලවා ගත් මට සුමනේරීස් බේරා ගන්නට නොහැකි විය

මට මහ හඬින් හඬා වැටෙන්නට සිත් විය. සුමනේරීස්ගේ අවිහිංසක මුහුණ මගේ දෙනෙත් ඉදිරියේ මැවෙන්නට විය. මුහුණ අසලින්ම අර දැරිවියත් ඇගේ වියපත් මවත් මට දර්ශනය විය. මේ සොබාදහමද දෛවයද යන්න මම නොදනිමි. එහෙත් උදෑසනින්ම මගේ දිවි බේරා ගත් ඔවුන් සොයා යන්නට මම සිතා ගතිමි. දැඩි උණ රෝගයකින් පෙළෙන වියපත් කත උදයෙන්ම රෝහල් ගත කල යුතුය. ඔව්, ඔවුන් තරම් දුරක් කෙලස පා ගමනින් එන්නද?

සුමනේරීස්ගේ හදිසි වියෝව නිසා රැයේ ඉතිරි පැය කිහිපයවත් දෙනෙත් පියවා ගන්නට මට හැකිවුයේ නැත. අර දැරිවිය නොවෙන්නට මට සදහටම දෙනෙත් පියවා ගත හැකිව තිබින. අහඹු උපකාරයට කළගුණ සලකනු වස් මම උදෙන්ම ඔවුන් සොයා ගියෙමි. පැරණි සොහොන් පිටියත් නිසරු වෙල් යායත් මට පාර කීවේය. එහෙත් පෙරදා රැයේ මා ගිය පාළු නිවස නම් මට සොයා ගත නොහැකි විය. අතරමං වූ මම කනත්ත අසල රිය නවතා ගතිමි. ඈතීන් ගැමියන් දෙදෙනෙකු එනු පෙනේ. නිසැකයෙන්ම මවත් දුවත් ගැන ඔවුන්ගෙන් යමක් දැන ගත හැකි වේවි. මා හඳුනාගත් ගැමියන් දෙදෙනා මා අසලට ආවේ විමතියෙන් මහත් කර ගත් දෑසින් යුතුවය.

 "දොස්තර මහත්තයා මේහේ...?" එකෙකු කථාවට මුල පිරුවේය. "ඊයේ රෑ මම ගෑණු කෙනෙකුට බෙහෙත් කරන්න ආවා.. කරුවලේ ආපු නිසා දැන් ගේ හොයා ගන්න අමාරුයි වගේ.. මතක නෑ කොයි හරියෙද කියලා..." ඔවුන්ගේ විමසිලිමත් දෑස් මඟ හරිමින් මම කීමි. " ගෑණු කෙනාට හොදටම අමාරුයි.. උදෙන්ම ඉස්පිරිතාලේ ගියොත් තමයි හොද.. ඒකයි මම මේ උදෙන්ම ආවේ..." තවමත් මා දෙස විමතියෙන් බලා ඉන්නා ඔවුන්ට මම කිමී. " ගෑණු කෙනාට අවුරුදු දහසයක දාහතක විතර දුවෙකුත් ඉන්නවා.. මුන්නැහැලා දන්නවද එයාලගේ ගෙවල්..?" "අනේ මහත්තයෝ මේ හරිය ගෙවල් තියන ඉසව්වක් නෙමේනේ.. අවුරුදු දහය පහළවකින් මේ ඉසව්වේ කිසිම කෙනෙක් ජීවත් වෙලා නෑ.."

මට හීන් දාඩිය දැම්මේය. එහෙම වෙන්නේ කොහොමද? ඊයේ මම ආවේ මෙතනටම බව මට ඉර හඳ මෙන් විශ්වාසය. "එහෙම කොහොම වෙන්නද ලොකු උන්නැහේ? ඊයේ මම ආවනේ.. ගෑණු කෙනෙක්ට බෙහෙතුත් කලානේ..." "මේ හරියටම තියෙන්නේ එක ගෙයයි මහත්තයෝ.. හැබැයි එකේ අවුරුදු ගානකින් කවුරුත් නෑ..." මෙතරම් වෙලා නිහඬව සිටි අනෙකා කීය. මට යන්තමින් හුස්ම පොදක් වැටිණ. "එහෙනම් ඒක වෙන්න ඇති.. ඕක කොයි හරියේද තියෙන්නේ...?" "අනේ මහත්තයෝ මේවා පාළු අඩවි.. මේවායේ ඇවිදින්න හොද නෑ... අපි යමු මහත්තයෝ.." එහෙත් මම ආපසු යන්නේ කෙලසද? අර මවගේ තත්වය පරීක්ෂා කර බැලිය යුතුය

දැඩි වෙහෙසකින් පසු මම නිවස පෙන්වීමට ගැමියන් දෙදෙනා එකඟ කර ගතිමි. අවසානයේ පෙරදා රැයේ මා පැමිණි පාළු නිවසේ ගෙමිදුලට එන්නට මට හැකි විය. එහෙත් කිසිදු හඩක් නොනැගේ. මිනිසුන් දෙදෙනා නිවැරදිද? එසේ වන්නට හේතුවක් නැත. මේ, පලාතේ ඇති එකම නිවස නම් මවත් දියණියත් වසන්නේ මෙහිය. සිතට අහේතුක බියක් දැනුණත් මම කිසිවක් නොසිතා ඇතුලට ගියෙමි. මහත් වූ අකමැත්තකින් ගැමියන් දෙදෙනාත් මා පසුපසම ආවෙන් මට සවියක් දැනින.


මේ මා පෙර දින පැමිණි  නිවසම බව පසක් කරමින් එහි වූ එකම කාමරයේ අර වියපත් කත වැතිර උන් දිරාපත්ව ගිය ඇඳ එලෙසම තිබිණ. එහෙත් එහි අතුරා තිබු රටා පැදුරවත් වැතිර උන් වියපත් කතවත් නැත. "අපි කීවේ මහත්තයෝ.. මෙහේ මොකෙක්වත් නෑ.." අර ගැමියා නැවතත් කීය. මම නිරුත්තරව ගියෙමි. "අපි මෙහෙන් යමු මහත්තයෝ.. මේවා රැදෙන්න හොද තැන් නෙවී.. පාළු අඩවිනේ.." එකවරම මගේ දෑස් යොමු උනේ බෙහෙත් පෙති ඔතා තිබු පොලිතීන් කවරයක් වෙතයි. පෙරදා රැයේ මා මෙහි තිබු බෙහෙත් වියපත් කතට පෙව්වා  මතකය. මම එය ඇහිඳ ගැමියන්ට පෑවෙමි.

ගැමියන් දෙදෙනා භීතියට පත්ව යමක් දෙස බලා සිටියේය. මමත් ඔවුන් අනුව බැලුවෙමි. වියපත් කතට මා පෙවූ බෙහෙත් පෙති කිහිපය ඇඳ මත රැදී තිබිණ. පුදුමය එය පමණක් නොවේ. මා වියපත් කතට දුන් බෙහෙත් සිරින්ජය ඇඳ අසල බිම වැටී තිබුනේ එහි වූ ඖෂධ සියල්ලක්ම සමගිනි. එය එන්නත් කල අයෙක් හෝ එසේ කල වගක් හෝ නොපෙනිණ. එසේ නම් මම වෙදකම් කලේ පණ නැත්තෙකුටද? කිසිවක් සිතා ගත නොහැකිව මම හුන් තැනම බිම වාඩි උනෙමි. සිදුවූ දේ අදහන්නටත් බැරි බව දනිමි. එහෙත් එක් දෙයක් විශ්වාස කරමි. පණ ඇතිව හෝ නැතිව ඒ වියපත් කතත් දැරිවියත් මගේ දිවි බේරා ගත්තෝය.

නිමි...

2 comments:

  1. Thanks dear... your courage is worth me more than this words... :)

    ReplyDelete