Monday, July 28, 2014

මට හමුවුන ඇය.. (පළමු කොටස)

මා රෝහලෙන් නික්මෙන විට මැදියම් රැයටත් ආසන්න වී තිබිණ. ඇඳුම රෝගය උත්සන්න වී රෝහල් ගත කල දරුවෙකුගේ තත්වය බරපතල වූ නිසාවෙන් මට රෝහලේ අතිරේක පැය කිහිපයක් රැදෙන්නට සිදු විය. මැදියම් රැය වනතුරු රැකියාව කිරීම අතිශය දුෂ්කරය. එහෙත් මම සුදුමල් යාය රෝහලට වෛදය වරයකු ලෙස ස්ථාන මාරුවක් ලබා පැමිණියේද මෙවන් දුෂ්කරතා, කැපකිරීම් දරන්නට වන බව දැන දැනමයනාගරික පරිසරයක හැදී වැඩී එහිම සිප් සතර හැදැරූ මට මූලික වෛදය වරයෙකු පමණක් සිටින සුදුමල් යාය වැනි දුෂ්කර රෝහලකට දෙවැන්නා ලෙස පත්වීම් ලබා පැමිණීම එක්තරා ආකාරයක කැපකිරීමකි

සුදුමල් යායේ ගුරු පාර වල් වල කාරයක් පදවාගෙන යෑමේ අසීරුතාවයක් නොවුන කාපට් පාර වල රථය හසුරුවා හුරුපුරුදු මට නම් එය  සැබෑම හිසරදයකි. ඊටත් මැදියම් රැයේ මඟ දෙපස ඇති දෑතින් බැඳිය නොහැකි ගස් කොළන් අතරින් රථය පදවා ගෙන යාම මගේ සිතේ යම් අහේතුක බියක්ද ජනිත කර තිබිණ. කෝකටත් කියා මම රථයේ කැසට් රෙකෝඩරය පණ ගන්වා එහි හඬ වැඩි කර ගතිමි. මගේ තාවකාලික නැවතුම් පල, සුදුමල් යායේ විදුහල්පති තුමාගේ නිවසට මා තව බොහෝ දුරක් යා යුතුව තිබේ

මගේ දෑස් නිදිමත හා ඔට්ටු අල්ලමින් සිටි එක් නිමේෂයක මා දුටුවේ රථයේ ලාම්පු එළි දිවෙනා අග භාගයේ රැදී සිටි යම් අයෙකි. පහන් එළි තව තවත් ඈතට දිවෙද්දී කෙල්ලක බවත් ඇය දහසයක දාහතක පමණ වයසැත්තියක් බවත් මට දර්ශනය විය. කාරය ඉදිරියට එමින් එය නවත්වන්නැයි හඬ නගමින් දෑත පාමින් සිටියාය. සුදුමල් යායේ අහිංසක දුප්පත් දරුවන්ගේ අසරණ භාවය සැනෙන් මගේ හදවතට පිවිසියේය. මම එහෙමම තිරිංග තද කළෙමි.

"අනේ දොස්තර මහත්තයෝ..." හතිලමින් කියන්නට වූවාය. "මම දොස්තර මහත්තයා බලන්න ඉස්කෝලේ ගෙදරටත් ගියා... අනේ මහත්තයෝ විගහට යං.. මයේ අම්මට සහෝලා උණ.." ඇගේ අසරණ භාවය වටහා ගැනීමට තවත් යමක් කීමට අවැසි නොවින. "කොහේද ගෙවල්?.. නගින්න කාරෙකට.." එය නොහැකි යයි කියන්නට හිස දෙපසට වැනුවාය. "මහත්තයා කාරෙකේ එන්න.. මං පාර පෙන්වන්නම්.." යැයි කියමින් දුවන්නට ගත්තාය. වරෙක හැරී බලමින් නොනවත්වා දුවන පස්සේ මම රිය පැදවිමි. දැන් දුවන මාවත මට කිසිසේත්ම හුරුපුරුදු මාවතක් නොවේ. පස්සේ යනු විනා යන්නේ කොයි බටද, කොයි දිශාවටද යන්නවත් මට නිනව්වක් නැත

තවත් වරක් හැරී බලනු දුටු මම රිය වේගය මඳක් වැඩි කලෙමි. ගස් කොළන් නොමැති හිස් අඩවියකටය ඊලගට මම එළඹියේ. එහෙත් ඇඟ කිළි පොලා යන දසුන තිබුණේ එහි නොවේ. පාරෙන් එක් පැත්තක තිබුනේ ඉපැරණි කනත්තකි. ඉපැරණි සොහොන් කොත් මතට දෑස් යොමුවන වාරයක් පාසාම සිත යම් බියකින් පෙළෙන්නට වූ නිසා මම මාවතේ අනෙක් පස වූ වෙල් යාය දෙසට දෑස් මෑනුවෙමි නිසරු වෙල් යායත් ජනිත කලේ බිහිසුණු බියජනක හැඟිම්ම පමණකි

මගේ සිතේ යක්ෂයින් පෙරේතයින් ගැන සිතුවිලි ඇදෙමින් මැකෙමින් යන්නට විය. මිනිසුන්ගේ ඇඟට පැන ලේ උරා බොන පිසාචයින්... සිරුරේ එල්ලාගෙන මස් බුදින ජුගුප්සාජනක යකුන්... මගේ හදවත තත්පරයකට නැවතුනා ලෙස මට දැනින. මම කාරය නවතා ගතිමි. මගේ කාරය ඉදිරිපසින් දුවන කව්ද? මෙවන් පාළු පාරක තනිව මැදියම් රැයේ මා සොයා එන්නට තරම් නිර්භීත වුයේ කෙසේද? සිත මගෙන් විමසන්නට විය. රෑ අන්ධකාරයේ සැරිසරන යකින්නක්ද? දරුවෙකුත් වඩාගෙන සැරිසරන අද්භූත නිශාචරිය මොහීනීව මට සිහිවිය

මෝහීනී දරුවා දෑතට දී මිනිසුන් වසඟ කොට ලේ උරා බොන වග මම අසා තිබුනෙමි. මේත් එවැනි මෝහිනියක්ද? එහෙත් මැය ලඟ දරුවෙක් නැත. අනික මේ අවුරුදු දහසයක දාහතක පුංචි එකියකි. මෝහිනීට අවුරුදු දහසයක පෙනුමක් ගන්නට බැරි කමක් නැත. එහෙත් මා අසා ඇති හැටියට මෝහිනී සැරසී සිටින්නේ සුදු පැහැ සාරියකිනි. එහෙත් මෑ.. සැරසී සිටින්නේ සරළ ගම්බද දැරියන් මෙන් දිගු චීත්ත ගවුමකිනි. කුමකින් කුමක් නිවැරදි උවත් මෙතනින් පලා යන්නට මම තීරණය කලෙමි.


"අනේ දොස්තර මහත්තයෝ.. ඇයි නැවැත්තුවේ..?" පැති වීදුරුවට මුහුණ තබා ගෙන ඇය ඇසුවාය. මම තිගැස්සුනෙමි. "ගෙ.. ගෙවල්.. මේ ලඟද..?" මම අසා ගතිමි. "ඔව් මහත්තයෝ.. තව ටික දුරයි.. අනේ ඉක්මනට යමු..." මගේ නිහඬ කල්පනාව මැද ඇය කීවාය. යකින්නන්ට දෙපා නොමැති වග මම කොහෙන් හෝ අසා තිබුනෙමි. මැයටත් දෙපා නැතිද? රතුවන් දෙනෙත්.. පොළව මතුපිට පාව යන යකින්නන්.. මගේ සිතේ සැරිසරන්නට විය. මෑත් එවැන්නෙක්ද? "දොස්තර මහත්තයෝ.." නොයිවසිල්ලකින් හඬ ගෑවාය

ඇගේ නොයිවසිලිමත් දෙනෙත් වල රතු පැහැය මා දුටුවේ එවිටය. ඇගේ දෙනෙත්.. ඇගේ රතුවන් දෙනෙත් සෘජුව නොයිවසිලිමත්ව මා දෙසට යොමුව තිබින. මම බියෙන් තැති ගතිමි. මිනිසුන්ට රතු වූ දෙනෙත් පිහිටන්නට බැරි කමක් නැත. ඊටත් මවගේ අසනීපය නිසා කොයිතරම් නම් කඳුළු හෙලන්නට ඇතිද, නිසා ඇගේ දෙනෙත් රතු වන්නට ඇති. එබැවින් බිය උනේ අහේතුවකට යැයි මම මටම කියා ගතිමි. "යං.." මම රථය පණ ගන්වා ගතිමි. මා ඉදිරියෙන් නැවතත් දුවන්නට වූවාය. මම ඇගේ දෙපා දෙස බැලීමි. දිගු ගවුමට දෝ දෙපා මට නොපෙනෙයි. සිතේ ඇති චංචල කමටදෝ ඇය දුවනවාට වඩා පාවෙන සෙයකි මට දැනෙනුයේ...

ඇය යකින්නක්ද? හොල්මනක්ද? දොස්තර මහත්තයව ඈ රැගෙන ගියේ කොහේටද? ඇත්තටම මොකද උනේ? ඊළඟ post එකෙන් කියවමු.

8 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි මල්ලියා!

      Delete
  2. Nice one.waiting enjoy next part....

    ReplyDelete
    Replies
    1. Thanks for the comment. Yes pls wait for the 2nd part. I'll post it soon.. :D

      Delete
  3. nice one... waiting for part two.. :)

    ReplyDelete
  4. great work dude. you truly got the talent

    ReplyDelete
  5. The story was full of curiosity and little bit scary.Waiting for the second part.Keep it up. :)

    ReplyDelete