Friday, July 3, 2015

තනිකම හොඳයි වගේ



කෙනෙක් මැරුනම අනේ මොනවා වෙලාද මැරුනේ කියලා විතරක් අහලා මරණය අමතක කරන දරුණු හිතක් අතීතයේ මට තිබුණා. මරණ කාරයා මගේම කෙනෙක් උනත් පිටස්තරයෙක් උනත් මම අනුගමනය කලේ තියරිය. ඊටත් එහා අතීතයේදී රටේ ලෝකේ සිද්ධ උන හැම මරණයක් වෙනුවෙන්ම කඳුළු හලපු දුක් ගත්තු මම මෙහෙම දරුණු වෙයි කියලා මගේම කියලා සම්මත වෙච්ච මිනිස්සු විතරක් නෙමෙයි අනිත් අයත් පුදුම වෙන්න ඇති. ඒක එහෙම උනේ ඇයි කියන්න හේතු කාරණා එමට තිබුණත් ලොකුම හේතුව එක් කාල සීමාවකදී මරණය මට පායන හිරු වගේ නියත වෙලා තිබුණු එක. ඔව් කාලයක් තිබ්බා මම දිනපතාම වගේ මගේම කෙනෙක්ගේ මරණයක් ගැන අහන. නිතර දකින කුකුළාගේ කරමලෙත් සුදු වෙලා යනවා වගේ නිතර අහන මරණයත් මට දෛනික කාරණාවක් විතරක්ම උනා.


අතීතයේදී මට අහිමි උන සංඛ්‍යාව කොයි තරම්ද කියලා දන්නවනම් අද මම තනි වෙලා ඉන්නේ ඇයි කියන ගැටළුව කාටවත්ම නැති වෙයි. යාළුවෝ නැති නිසා හෙට මැරෙන්නේ කව්ද කියන එක මට ගැටළුවක් නෙමෙයි. කෙනෙක් මැරුණත් එයා මගේ අතේ දුරින් උන්නූ කෙනෙක්. ඉතින් මරණය මට වේදනාවක්වත් පාඩුවක්වත් නෙමෙයි. මම දරුණු වෙන්න තවත් කාරණාවක් ඒක. හැම කාරණාවක්ම හින්දා මම කාලයක් කිසිම වේදනාවක් නැතිව හිටියා. ඒත් මේ වර්තමානය... හැම සුළු සිදුවීමකින්ම වගේ හිත රිදෙන මේ වර්තමානය... මරණයේදී විතරක් නෙමෙයි සුළු අසනීපයකිනුත් හිත රිදෙන මේ වර්තමානය... දරුණු හිතක් තිබුනු මට දරා ගන්නත් බැරි තරම්.


ඒත් ඇත්තටම මම දරුණු හිතැත්තියක් නෙමෙයි. මම එහෙම කෙනෙක් බවට මවා පෑමක් කලා විතරයි. මගේ හිතත් හඬා වැටුණා, හැම මරණයකදීම. ඒත් මම මටම පෙන්නුවා එහෙම නොවන බව. අද වගේම ඊයෙත්... සමහර විට හෙටත්... මම වේදනා විදීවි සමීපතයෙකුගේ මරණයෙන්. අනේ පුළුවන් නම් මට එයාලා වෙනුවෙන් පෙනී සිටින්න. එයාලා වෙනුවෙන් මරණය භාර ගන්න උනත්... එහෙම උනොත් මට පුළුවන් අඩුම ගානේ මේ හිත් වේදනාවෙන්වත් මිදෙන්න. ඒත් මට එහෙම කරන්න පුළුවන්ද? සොබාදහමට එරෙහිව යන්න මට වගේම කාටවත්ම බෑ. මේකට එකම විසඳුම සමීපතයන්ගෙන් ඈත් වෙන එකද? යාළුවෝ නැතිව ඉන්න එකද? මේ දැන් මම ඉන්නවා වගේ. එක අතකට මගේ යාළුවෝ බහුතරයක් මෙලොව නැති නිසා ඒක තමයි එකම විසඳුම. ඉතුරු වෙලා ඉන්න සුළුතරයට කියන්න තියෙන්නේ අනේ යාළුවනේ පරිස්සම් වෙයල්ලා, උඹලාගේ මළගමට අඬන්න තරම් මගේ ඇස් වල දැන් කඳුළු නෑ.


මේ සටහන මරණයේ වේදනාව මට මුලින්ම ඉගැන්වූ රවිඳු  සහ පසුගිය සතියේත් අදත් මරණය වැළඳ ගත් මගේ හොඳම මිතුරියන් සිව් දෙනා හා මිතුරා වෙනුවෙනුත් ඔවුන් මෙන්ම මේ කියන්නා වූ කාල සීමාව තුල මරණය හේතුවක් කොට මගෙන් වෙන් වූ සියළු මිතුරන් වෙනුවෙනුත්. ජීවත් වෙන මගේ මිතුරු නුඹ වෙනුවෙනුත්.  

Image result for funeral
වෙන් උන මිතුරනි ඔබට නිවන් සුව! මෙන්ම මොක් සුව!.

Monday, June 29, 2015

මහ වැස්ස...

Image result for rainy cartoonsමහ සුළඟක් අරන් ඇවිත් වැහි
ගස් වැල් අමෝරා මහ ගෝරනාඩුවක
වැරැද්ද කාගේද කොහේද?
නෑ උවමනාවක් සොයන්ට එයට
විත්තිකරු නිවැරදි කරු
සියල්ල තෙමෙනවා වැස්සට
ඉතින් මොටද මට
අහනවා වැහි හුළඟ
හිරු එළිය සොයා ගොස්
නීල වළාකුළු වෙත ලං වෙන්න
වලි කාපු ගහ වැල ද මහීකත මත
වැළපෙනවා අනේ හොදටම
කෝෆී මල් සුවඳ මැදි කොට ගත්
සොඳුරු පියකරු ගුරු පාර
මඬ වැගිර නොසන්සුන්ව
හඬනවා ඇහෙනවා මට
ආදරේ කලත් කෙතරම් වැස්සට
බනින්න හිතෙනවා මටත් අද
අනේ ! නැති උනා නම් මේ සියල්ල
විදින්න තිබුණා වැස්සේ අපූරුව
කෝෆී කෝප්පෙකුත් රස විඳ විඳ...
එපා වැස්සේ මෙහෙම එන්න...
හිමින් හිමින් පොළව සිඹින්න....

පුංචි කථාවක්



නැගෙනහිර අහස එළිය කරන් හිරු ඇවිත්. ඒත් තවම සමන් හිටියේ නින්දේ. එලාම් ඔරලෝසුව හඬ තලනවා. ඔහු ඒකත් විසංධි කලේ අත පත ගගා.. ඔරලෝසුවට පස්සේ දුරකථනය. සමන්ට කේන්තියි හොදටම. කේන්තියෙන් ඔහු දුරකථනයට පයින් ගැහුවා. බිමට රෝල් වෙලා වැටුන දුරකථනය තාමත් කෑ ගහනවා. අස්සේ මහ සද්දෙන් කාමරේ දොර ඇරුනා. සමන් නිදිමත ගානේම දොර දිහා බැලුවා. එතන හිටියේ .. ඔහුගේ හිත ගත් තරුණිය. සමන්ගේ ඇස් ලොකු උනා. ඔහු නැගිටලා ඇඳෙන් වාඩි උනත් තාමත් මේ හීනයක් හැබෑවක් කියලා ඔහුට තෝර ගන්නත් බැරි තරම්. අතර ඔහු ලඟට ඇවිත් අත් දෙක අල්ල ගත්තා. ඇය වගේම ඇගේ ඇසුත් හිනා වෙනවා. සමන් බලන් හිටියේ පියකරු මුහුණ දිහාව. ඇය හිසෙන් කිවේ ඇයත් එක්ක යන්න එන්න. ඔහු ඊට අවනත උනා.

සමන් ඇයත් එක්ක සමණල්ලු අල්ලන්න දිව්වා. හරියට පොඩි ළමයි වගේ. ඊට පස්සේ ලොකු ගහක් යට වාඩි වෙලා කෑම කෑවා. සැණකෙළියකට ගිහින් කතුරු ඔංචිල්ලා පැද්දා. අන්තිමට අයිස්ක්රීම් කෝන් දෙකකුත් අරන් උද්යානයේ බංකුවක වාඩි උනා. සමන් හිටියේ සතුටින්. වගේම ඇයත්. අයිස්ක්රීම් එක අතේ තියන් දෙන්නා මුහුණට මුහුණ බලන් හිටියා. අන්තිමේදී හැදුවේ ඔහුගේ මුහුණ සිප ගන්න. ඇගේ තොල්පෙති සමන්ගේ මුහුණට බොහොම ලං වෙලයි තිබුණේ. මෙන්න එක පාරටම දුරකතනය නාද උනා. සමන් ඇහැරුනේ උඩ ගිහින්. අනේ දෙවියනේ හැම දෙයක්ම වෙලා තිබුණේ හීනෙන්. ඔහුට දැනුනේ කියා ගන්න බැරි තරම් දුකක්. ඔහු දුකෙන්ම දුරකතනය අතට ගත්තා. ඔහුගේ මුහුණේ තිබුණු දුක ටිකෙන් ටික වියැකිලා ගියේ දුරකතනය අතේ තිබිද්දීමයි.  එහි සටහන් වෙලා තිබුණේ ඇගේ නම. ඔහු සතුටෙන් උඩ පැන්නා. අන්තිමේදී හීනෙන් නෙමෙයි හැබැහින් ඇය ඔහුට කථා කරනවා.

Image result for call from her cartoons

නිමි...